Saturday, September 20, 2025

45

 අනෙක් දිනවල අවදි වෙන්නෙම 

ඔබට සුබ පැතුමක් තියා

පෙලක් දවසට අමතකයි මට ඉතින් සති අන්තය කියා 

ගෙවෙන තෙක් මේ වගේ දින ඔබ , මග බලන්නෙත් නැති නිසා 

මතත අහුමුලු අවුස්සන්නෙමි මකුලු දැල් , දුහුවිලි ගසා 



Tuesday, September 16, 2025

44

 අසිහියෙන් ඇවිද අකුල් වල පා පැටලි පැටලී 

ගමනාන්තය කොහෙදැයි නොදැන උන් බැවිනී 

අතින් ඇද නවතාන , මග හසර කියා දුන් නොසැලී 

මගේ ඉසිවර මළුව ඔබම බව ඉතින් මම කියමී 




මං හරී ආදරේ 43

මෙතෙක් කල් වලාකුළු තද කරන් හිටි කඳූලු

දියාරුව වැහි බින්දු ලෙසින් කොළඹට හැලෙයි 

අව් රශ්මියට හසුව ඉරුවරද දරා හිටි 

ගොඩනැගිලි හිස් මුදුන් ඉන් දරුණු ලෙස තෙමෙයි

මේ වලාකුළු යටින්, ටිකක් ඈතින් ඔබත් 

ඉන්නවා කියා මගේ ගැහැනු හිත මට කියයි 

කිසිම හේතුවක් නැති , හැඩය පහදන්න බැරි 

සතුටු බුබුලක් ඉපිද යළිදු එය බිඳීයයි


කතාවක් බහක් නැති උනත්  මේ අහස යට 

ප්‍රංශ හාදුවක් ගැන විටෙන් විට සිහි නැගෙයි 

දෙතොල් හිරි වැටී යන ඇමීබා පෙම් සිහින 

මගෙත් හද නිම්නයෙහි හරි හෙමින් පණ ගැහෙයි 

ළැම කඳුද මුදු සිරස් වලින් එසැවී බලා 

ඔබ කොහේ සිටීදැයි හොරෙන් විමසා බලයි 

මම තුළම ඔබ හිඳින විප්‍රකාරි රහස් 

දැන හැඳින යළි බිමට පාත් වී නිහඩ වෙයි 



Wednesday, September 10, 2025

මං හරි ආදරේ 42

 මගේ හද දූපතෙහි, 

එහේ මෙහේ යන දුම්රියක, 

හැපී සිය දිවි නසාගත් 

පැතුමක්ය, එක සවසක! 


මගේ සඳ අගනුවරට, 

පායන දිනෙක, රැයකට

සීතල ම සඳ සෘතුවක

තෙමී ළග නවතින එක! 


සිඳු රළ හැපෙන වෙරළක

සඳ සමග පා ඔසවන

අත අත ඇගිලි ගවසන 

සිහිනය බිඳුනු ඉක්මන!

මං හරි ආදරේ 41

 ලොව කිසිදු තැනෙක, නොදකින

විරල සහ ආවේණික මල් පිපෙන, 

කලබලකාරීම මං මාවත් මැදින්

කඳුවැටි, උල්පත්ද ගං දියද උපදන, 

සදාහරිතම වැසි වනාන්තර, උසුලන

ඉඳහිටක, 

ලැව් ගිනි ද හටගෙන ලාවා ද උතුරන

ලෝක  උරුමය ඔබය 


මේ අන්තයට මා එවු මෙහෙවර 

මට ප්‍රත්‍යක්ෂ කරනු වස් හමුවුණ!

මං හරි ආදරේ 40

 මං ඇතුලේම, හිත පතුලේම කිමිදෙන්න! 

මත් ඇස් යටින් මට මියයන්න ඉපදෙන්න! 

අපි දෙන්නා ට මැද නිල් අහස අතුරන්න

සිලි සිලි ගගා තරු අහුරකට පොඩිවෙන්න

මං හරි ආදරේ 39

 මම කැමති, ඔබ ළගදි 

බිම්මලක් වී නැමෙන්න 

ඔබ කැමති, මම තුලැති

උඩවැඩියා මල  දකින්න 

මට මාව මග හැරෙන 

විටෙක මගෙ හිත නිවන්න

ප්‍රේමයට පර්යාය පද  

කොහෙද ඔබ ඇරෙන්න !

මං හරි ආදරේ 38

 දුයිෂෙන්ය! 

ඔබ මගේ ප්‍රේමයේ, 

ජිවිතය නම් අයිලයේ!

මං හරි ආදරෙ 37

 ඔබේ මහාද්විපික හදවත 

දෙස බලන මගෙ කොළණි වැසි හිත

මෑත් කර මේකුලක තිර පට 

වැහි අකුණු පියගැට පෙලේ බැස 

ප්‍රාර්ථනා උරයක දමා "හස"

තරු ලකුණු ඇසුරින් අසා මග 

ඔබ සොයා දුර ගමන් යයි! 

තනිව සරමින්, ගමන් යයි.

මං හරි ආදරේ 36

 හඳට තරුවලට 

කණාමැදිරියන්ට 

රෑ බදුල්ලන්ට

ඇඳිරිනීතිය!


අකලට නිවී ගිය

තරුඇලුන

වලාකුලු රේන්දය 

මතින් පියවර 

ඔබ තියා 

ඒවිද නොදැන

මම මෙතන


විශ්වයම දිගු 

සීත නින්දක ... 

මෙ අහස යට 

තැන් දෙකක 

ඔබ ඔතන

මං මෙතන

මං හරි ආදරේ 35

 ඒ වෙරළ මතු මතුද සිහිනැගෙන

කල්පාන්තර මැදද රැළි සරන 

විහිද ගිය ජීවිතය⁣ෙ අක් මුල්ද දරාගෙන

ඒ වෙරළ නිශ්ශබ්ද රැළි නගන

මං හරි ආදරේ 34

 ඔබේ නෙත් බැල්මෙන් 

පෙති දිගහරින පැතුමෙන්

සියක් පෙති අකුලන්

බලා හිදි නෙලුමක්


බඹර තුඩු සමගින් 

සරන සමනලයින්

සෙමෙන් මග හරිමින්

බලා හිදි නෙලුමක්


බිදක් වත් නෙතගින්

බලා ඔබ යා නම්

පෙමින් පෙති පුබුදන්

සිනාසෙන නෙලුමක්

මම තවම නෙලුමක්

මං හරි ආදරේ 33

 ඔබ හිඳින බව ළඟ දැනෙනවා

හමුවෙන තුරුම දින ගණිනවා

ඒ ආදරේ සුළඟක් වගේ 

ළඟ හිඳිනවා ළඟ හිඳිනවා 


ඔබ මහද කුටියක නිදනවා

එහි නිබඳ සරතැස නිවනවා

ඒ ආදරේ සුවඳක් වගේ 

ළඟ රැ‍ ඳ‍ෙ නව‍ා ළඟ රැ‍ ඳ‍ෙ නව‍ා 


ඔබ සෙනෙහෙ උල්පත මවනවා

මඳහාස ඉණිමං තනනවා 

ඒ ආදරේ සඳැසක් වගේ 

ළඟ ගැයෙනවා ළඟ ගැයෙනවා

මං හරි ආදරේ 32

 මං ඔබේ  මිතුරිය 

රංචු ලැදියාවෙන් පෙළෙන  

දහසකුත් මිනිස්සු අතරෙ , 

සිහිනමය විශ්වයක තනිවම, 

සැරිසරන, පියමනින .... 


ඉඳහිටක,  ආදරේ නැතියැයි 

ඉසියුම් නෝක්කඩු මුමුණන ....

ආයෙමත්, ඔබේ සැනසීමමයි 

මගේ සුවපත් වීම පවසන 

පරස්පරයට බර වදන් තෙපළන! 


කවිමදැයි නොදන්නා මුත් 

දවස ගානේ, වචන ලියැවෙන 

හිතක් , කෙටි ගෙළ මත දරාගෙන 

යස්ස "කවිකාරි" යක්යැයි හිතන! 


රෝමාන්තිකමය හාදු , 

මිලියනක් තැවරුණ 

රතු අහස අග , 

රැළි නගන වෙරලෙහි තනිවම

කිසිදාක නොගිලිහෙන ඔය අත් 

හදගැඹුරෙන්ම පිරිමදින 


මං ඔබේ මිතුරිය! 

අප අතර පවතින මේ අවකාශයෙහි 

ආදරය පමණක්ම පුරවන. 

ඉන්ම පමණක් සැනසෙන. 


ප්‍රේමයේ සංඛ්‍යාත කොතෙකුත් තිබිය හැකි 

ප්‍රේම කළ මිනිස්සුන් කොතෙකුත් සිටිය හැකි 

ඒ වුනත්, මං ඔබේ මිතුරිය! 

ග්‍රහණය කරනු හැකි 

සියළුම සංඛ්‍යාත පරාස 

ඔබ වෙනුවෙන්ම වෙන් කළ!

මං හරි ආදරේ 31

 විශ්වීය මිනිසෙකුට ප්‍රේමියව

සුළග මත මොහොතක් නතරවෙමි!  

අවැසි විට තරුවක්ව දැල්වී 

නොමැති නම් නොනිවී , නිමී ඉමි! 

ඔබ නිදන කුටියේ සමීපයෙ 

සිලිටි මල් පෙත්තක්ව හිඳිනෙමි!

අවැසි විට ඇහැරී සුවඳ දී 

යළි පිපෙනු වස් පෙති අකුළ ගමි!

මං හරි ආදරේ 30

 පේන දුරකට හීත වැහි වළාවකුදු නැත 

ගේන හිරිකඩ හුළං කඳුමුදුන් අතින් අත 

නේන මුත් කටහඩින් පිරිමදින විටදි හිත 

ඈත උත්තර ධ්‍රැවය සේය දැන් කොළඹ හත!

මෑත අව් කුටකෙත් හිම වැටෙයි බලන අත!

මං හරි ආදරේ 29

 එක් වෙනස් , විශිෂ්ට ආත්මයකට! 


ඔයා මා වෙනුවෙන්ම , විවෘතවු පොතක්! 

මම ඔයාගේ දෑස් වෙත එබෙන හැම 

මොහොතකම, මා තුල 

මිලියන ගණන් අකුරු ඉපදෙනවා! 

ඇත්තෙන්ම ඒ අකුරු කතන්දර උපද්දනවා, මා තුලම. 


මගෙ ආත්මයේ වේදනාවන්, 

මගෙ දෙනෙත් තුල රැඳෙනා කඳුලු, 

සුවපත් වෙන්න පටන් අරගෙන. 

මට ආදරය අත්පත් වීමේ 

ආශ්චර්ය දැනෙන්නට පටන් ගන්නවා. 


ඉතින්, මා කිසිවක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. 

මේ පැවතීම පමණයි. 

අප අතර පවතින මේ නිශ්ශබ්දතාවයත් 

අප අතර දැල්වෙන මේ නොනිමෙන සියුම් දිලිසීමත් 

මට උවමනා ඔයාටත්, දැනෙන්නයි. 

මා වටා ඇති මේ නිමී නොයන 

ආදරයේ ආශ්චර්යමත් පැවතීම

මං හරි ආදරේ 27

 වසා තදින්ම අගුලු ලැ  හද  

කවුලුවට ඔබ තට්ටු කල හඩ 

අසා හිඳ කවුරුන්ද ඇසුවා 

සහතිකද ඒ ආදරේ වග 


කිසිම කිසිවෙකු යම්තමින් වත් 

අත නොගැ හිත සෙමෙන් පිරිමැද 

එදා ඉසියුම් , සිපුම් කඳුලක් 

තැබු බව පැවසුවෙමි හද මැද! 


විය නොහැකි මායාව ගැවසෙන

ජීවිතේ සර්කස් මලුව මැද 

මල් පිපේ නම්, වසත් සෘතුව 

අයිති කාටද සොයා කුමටද!

මං හරි ආදරේ 26

 ඉපල් වු තුරු පණ පොවා නුඹ 

වැහි දියක් සේ වසී නං 

සිහිල් ඒ දියවර එකතු වෙන 

වැවක් වී ඉමි පිරෙමි මං !

මං හරි ආදරේ 25

 දිනන නොදිනන කරුණු ගැන සිතින් නොවෙහෙසෙමි

දොඩන නොදොඩන දරුණු රහස් ගැන නොවිමසමි

හැපෙන මුත් නුඹ මත්තෙ, දැක නොදුටු ලෙස හිදිමි

කැපෙන සීරෙන බවම හොඳින් දැන කඩු ගිලිමි


දිනුම සසරෙහි මෙලෙස මුණගැස්ම බව සිතමි 

හෙලන සුසුමක ම මගෙද හුස්ම ඇති බැව් දනිමි 

සැලෙන සුළගක සුවඳ කැටිව ඇති බව විඳිමි 

පපුව පිරෙනට සෙනෙහෙ විඳි අරුම සිහි නගමි 


මහද හැම කුටීරෙම ඔබ වසන බව හඟිමි 

ගෙවෙන හැම නිමේශෙම පපුතුරෙහි මම නිදමි 

නතර විය යුතු දිනෙක, ඔබ කියන තැන ට එමි 

ඔය දෙනෙතු යටින්, මම ඔබට මම පිරි නමමි!

මං හරි ආදරේ 24

 මැයි මාර තුරු මුදුන් අග්ගිසි 

හීනි වැහි දියරකින් පොඟවා 

කොළඹ අහසේ මුවා විය හිරු 

සේද මේකුළු සළුව පොරවා 


පපුව අයිනෙන්, ආදරේ කඳු 

ගොඩගසා හරි බරට පුරවා 

කියා , නොකියා ගිය හැඟීමට 

නම ක් මොකටද කියා හිතුණා 


නොකී දහසක් කතා අතරෙත් 

මොහොතකට ඇස් කතා කෙරුවා

වර්ඩ් එක්සෙල් අතර මැද්දෙන් 

ඩැෆඩිල්ස් යායක්ම පිපුණා !

මං හරි ආදරේ 23

 මේ අහස යට , කාත් කවුරුවත් නැති තැනක 

මං පවා නොදැන මගෙ නමින් ලියැවුණු කවිය 

අදිසි හස්නක  , පිරි නමා ඇති මුත්  දිනෙක 

කුරුල්ලෝ, අමතකව ගියාදෝ එය නුඹට 


සඳළු මත අහම්බෙන් වගේ තැවරී සැගව 

අගුලු ලෑ හදක් ඉඹ , ගියා මඳ මුදු සුලඟ 

මටලු ඒ , මගෙ ලගින් ඉතිරි කර ගිය  සුවඳ

කුරුල්ලෝ, දැනුණාද සුවපත්වු බව මහද 


කියනු බැරි වු නමුත් මගෙ හැගෙන, මට දැනෙන 

මුලු හිතින් සියක් වර ඒ පතුල් මත තියන 

මගේ හදවත, පළා ඔබට පෙන්වු බවද 

කුරුල්ලෝ, මගේ පෙම දුටු බවද කියනු මැන

මං හරි ආදරේ 22

 හිස් උනත් මේ අහස යට තියෙන හැමදේම

මල් දරනු වස්, කැකුළු ගැබ්බරයි හොඳටෝම

මින් පෙරද ඇවිත් ඇති දවස් මේ වගෙ බෝම

ඉන් රිදේ , අද වෙනින් කිසි දාක නැති සේම

 

රන් පාට කෙහෙරැලින් වසා පෘතුවිය අවට

අරුණෝද පණිවුඩය ලිහා හස්නෙන් ලොවට

ඉර එහෙම හිනාවෙයි, ඔබත් හිදිනා තැනට

මේ කිරණ ගලන බව කියා එවනවද මට


ඒ කුරුලු පැටවුන් ට දෙනු පිණිස  ඔබෙ හීන

පරිස්සම් කරන්නං ළග තැනක හිඳ පේන

ස්නේහයේ මාළිගා පුද බිමට මල් ගේන

කෙල්ලකට වුව තියේ , දවස් ආයෙම නේන

 

අහස් සක්මන් මළුව, හෙමින් පැදකුණු කරන

සිසී, අද රැයෙහි මෙහි සැපත් වෙන බව ඇසෙන

බොහෝ අඩහැර ඇතත්, නොඇසි සේ මග හරින

ඔබේ කටහඬ සොයමි, තුරු ලපලු අග රැඳෙන

මං හරි ආදරේ 21

 දැනෙන නුඹ නිවෙන තැන, 

නිවෙන බව දැනුණු තැන , 

නිවෙනු මිස දැවෙනු නැත.

දැනෙනු තුරු නිවෙනු මැන!

මං හරි ආදරේ 20

 ඝන කැදලි හිම ආවරණයෙන් 

වැසුණු මා හද කඳු සිරැසි 

මත උතුරු එළි පතිත කළ 

සහමුලින් මා සොඳුරු කළ

ජීවිතේ, ඉර කිරණ ගගුලය , ඔබ


ආයෙමත් හෙට, ජිවිතය දෙස

බලා විමසා මඟ කියා දෙන

හද කුරුලු කූඩුවෙහි සගවන

ලෙසින් කිසිවෙකුටවත් නොපෙනෙන

මගේ කඳුකර රාජාලි ඇස,  ඔබ


නිදා වැටෙනා විඩාපත් හිත

අවුලුවා ක්ශනයකින් පිරිමැද 

කවි හිතක මහ බර දරාගෙන

කවි පොතට කවි කම් සොයා දෙන

මගේ සිතුවිලි උල්පතය, ඔබ

මං හරි ආදරේ 19

 අපි අපේ  බව අපට 

දැනෙන බව දැන හිඳින

විටෙක ජීවිතේ හැර 

ස්වර්ගයක් වෙන තියෙද

මං හරි ආදරේ 18

 සිතියමක තනිවුණු , රිදුණු ඔද්දලු උනු 

මුහුදු කෑ වෙරළකින් බිදී ගොස් වටවුණු

තරුණ දූපත් හදක පින්තුර ඇහිඳිමි 

එහි වෙසෙන පුරාතන ප්‍රේමයක් උසුලමී 


උත්තර ධ්‍රැවයටද  උහුලන්න බැරිවුණු

මහද්වීපික හදක, තද ශීත ගල්වුණු 

තාරුකා ගෙනැත් මම ගිනි උඳුන් දල්වමි 

පපු කැනති අස්සේම, සෙනේහය ගල්වමි 


පැරණි රතු වයින් රස දෙතොල් මත සැඟවුණු

විහඟ ගී අපමණකි මතක හා තැවරුණූ  

කැළෑ මල් පොකුරකින් නෙතු කඳුලු පිසිනෙමී 

ජීවිතය ඔබට දී අවැසි නම් මියැදෙමී

මං හරි ආදරේ 17

 කුඩා අකුරින්  සියුම් සිලිටි ව 

බෝ පතක් මත ලියා තිව්වෙමි, 

ඔබ අසල මා විඳින සනහස 

සත්තකින් නුඹ මගෙම සංහිඳ 


මගේ සමනල සිතුම් රෑනම 

වන්දනාවක් පිණිස කැඳවන 

සමන් දෙව් අඩවියෙහි, තුමුලව 

වැඩ හිඳින මහ කඳු සිරස නුඹ


මලක් සේ මා රකිනු පිණිසම 

මා වටා සෙනෙහස දොවා දෙන

විමුක්තිය මා හදෙහි පැළ කල

ප්‍රේම ණීයම වසන්තය ඔබ

මං හරි ආදරේ 16

 රොබරෝසි ඉහිරුණ තුරු පත් විසුළ පොළවක

කඩදාසි විසිරෙන දේශන හලක, අයිනක

දුක සතුට සැමරුම් උසුලන පුංච් දෙවුරක

පෙම පමණි තිබුණේ පැහැදිලි නිවුණු දෙනෙතක


නමඳින තරම් බැතිමත්ආදර භාවනාවක 

විමසන එකම අසමත් ඇරඹුම තිබුණෙ කොතැනක

අහිමි ද හිමිද නොඅසනහමුවුණ මිහිරි හැගුමක

එක හදවතක ගැස්මක් ඉතිරි වූවා දෙතැනක 

මං හරි ආදරේ 15

 ඉතින් ඉසියුම් , ඉන්ද්‍රජාලික

පිරිමියෙකු ගේ ප්‍රේමයෙන් 

අවදිවී ඉමි, සදාතන වු 

ශිශිර තාරක නින්දකින්

ඔය දෙපා මත හිස ඔබා ගමි 

වන්දනාවක, ස්නේහයෙන්!

මං හරි ආදරේ 14

 වැහිබීරම් අහසක් යට මං මාවතක තනිවෙන්න

වැහි පණිවුඩ අරන් ගලන සුළං රොද හා හිනැහෙන්න 

හීන මලු වල බරට සමපාත මේ හිත කියවන්න 

තාවකාලික මගියන්ය අපි හමුවෙයිද නොවෙයිද නොදන්න

හමුවුනත් හිමි නැති වග දන්න....

මං හරි ආදරේ 13

 මගෙ පුංචි පපුව උඩ 

ආදරේ කඳු ගොඩ ගසා 

හිත් වේදනා පැලුම් සිනා

ඉදිකටුවකින් මසා

හීනයක් වගෙ ඇවිත් හිත පුරා 

හෙමින් පියමැන යන ඔයා 

නතර කර ගන්නටම හිතේ 

සදාකල් හිතෙහි දොර වසා! 


මිණි  කැට වගේ මල් 

වැටෙන විට ඇහැල සෙවනෙදී 

අප හමු වුනත් නොදුටුවාසේ 

සමුගන්න තැනකදී

මේ ආදරේ හිතෙහී තියා 

හිනැහී එන්නෙ මා 

හිතකින් නොවේ තුරුලට නැවිත් 

පිටමගම එන්නෙ මා! 


ඇස් වහ වැදී මේ ලෝකයේ 

හිත් රිදෙන තැනකදී 

මුදු අස්වැසුම් සිහිනෙන් වගෙ 

මං විදින මොහොතෙදී 

මේ ආදරේ මෙතරම් කියා 

නොකියා ඉන්නෙ මා 

හිතකින් නොවේ පපුවෙන් මිදී 

දුර ඉන්නෙ මෙහෙම මා

මං හරි ආදරේ 12

 කව් කතා කොතෙක් මං ලියා ඇතත් 

මට තවමත් වචන මදී 

ඔබ මට කවුරුන් දැයි ලියා තියන්නට 

තවමත් වචන මදී 


හති වැටී පෙලී හිත රිදෙන නිමේශෙක 

පපුවට මුහුණ ඔබා 

හිදිනා මනරම් තනි තත්පරයක් 

සිහි කර ගනිමි, මවා 

අප යළි මුණ ගැහෙන තුරා! 


ළය පිපී සැලි මල් පොකුරු පුරෝගෙන 

බැල්මෙන් මසිත නිවා

හිස පිරි මදිනා එක තත්පරයක 

සැනසෙමි සිතින් පවා

අප යළි මුණ ගැහෙන තුරා!

මං හරි ආදරේ 11

 ඉතින් හද පැස වහා සොලවමි සොයා සිහිනය පෙම්වන්ත 

එමත කඳුලක් පිරිත් පැන් කර ඉසිමි වනු වස් පින්වන්ත

හිතින් ඉවසා හිදින්නට බැරි තරම්  රලු මේ තනි ලන්ත 

කැලැන්ඩරයට මොකද මන්දා මේ තරම් දිගු සති අන්ත

මං හරි ආදරේ 10

 පහසු කලාප ඇතුළෙම නිදන 

හැගුම් ඩයිනෝසර රෑන 

පිටත පනින්න හදන මොහොතට 

උන්ට දැඩි සීමා ඕන 

විස වායු පුපුරවා හරි උන් 

මරන්නට වෙන බව පේන 

වෙනත් ග්‍රහලෝකයකදි හරි 

අපිත් හමුවෙන්නම ඕන

මං හරි ආදරේ 09

 ඔබේ කටහඩ නොඇසෙන 

ගිම්හාන රාත්‍රින් බෝ දිගුය

ඒවායේ තැනින් තැන 

හමුවෙන පැරණි ඉකිලුම්ය

කඳුලු සාගර වල සළකුණුය 

හද පැළුම්, සීරුම්, ඉදිමුම්ය 

ඔබේ හඩෙහි සංඛ්‍යාතය 

සුව සදන මාත්‍රාවමය 

මං හරි ආදරේ 08

 ඔබ සිහිවීම හරියට


මහ පොලව ගිනි අගුරු වි නළියන 

වහල මත අවු රශ්මි කැට පුපුරන 

විටෙක තෙත අලු වළාකුළු පොදියක 

 දෙපා ඔබ්බවා ගෙන හිදීමය! 


තරු ලිහී ගිලිහී වැටෙද්දී සයුරට 

ලෝකයේ භ්‍රමණය නවත්වා පැයකට 

තොල් අතර මුදු අවකාශයක ආත්මය

 පැහැදිලිව සටහන් තැබීමය! 


ඉරි තැලුම් ඇති ඉකිබිදුම් රැදි හිතකට 

මුදු බැලුම් දී හිස් මුදුන සිඹ මොහොතක

කැළෑ මල් ඉත්තක් මෙන් පිවිතුරුව 

ආදරේ නිස්කාංසුව වී හිඳීමය

මං හරී ආදරේ 06

 පාලු රැයකට ගීතයක් වී 

සවන් මත වැතිරෙන්න 

හැන්දෑවකට ළං කරන් මට

ඔබේ උරහිස දෙන්න 

නිවී යනයුරු ඇවිලෙනා ගිනි 

පුදුම වී විඳ ගන්න 

තව කොතෙක් කල් තියෙනවද 

මට ඔබෙම වී ළග ඉන්න

මං හරී ආදරේ 07

 දැන හදුනගත් කවියක.

පදයක, තිතක, කොමාවක...

අප හමුවු දවසක...

සංරක්ෂණය කළ මතකෙක...

විපිලිසර වු හැගුමක

මායාව එහෙමමය අදටද.


හිමිදිරි සිතුවිලි! 

මං හරී ආදරෙයි

මං හරී ආදරේ 05

 ජීවිතේ  කොහොල් මිටියාවතට

හිස් හදක් වගේ පියනගන විට 

ගොර බිරම් රකුසන්ව මග හරින

නපුරු කටු අත්තක්ව හිඳින විට

සිලිටි මල් පෙත්තක්ව හිනැහෙන්න 

අදිසි සුළගක් වගේ ළග ඉන්න

 

ශිශිරයේ දිය මිදුණු විලක් වැනි

විනිවිදිය හැකි ගැඹුරු හදක් තුල

සැරි සරන්නෙකුට මෙන් පිවිසෙන්න

ආදරේ මුර පදය මට දෙන්න  

ලෝකයක් ආවොතින් උදුරන්න 

ඔබ තුලම ගිලෙමි නොපෙනි ඉන්න... 


ඒ විසල් හදෙහි කිසියම් තැනෙක 

ඉසිහින්ම ලේ නහර කිනිත්තක 

කෙලවරක , සැරිසරමි නොදැනීම

පිය සටහනක් පවා නොතියාම 

සිලිටි මල් පෙත්තක්ව හිනැහෙන්න 

මේ සියුම් ප්‍රේමයෙම පවතින්න!

මං හරී ආදරේ 04

 සීතලම සීතලම සීතලම ගිනි කන්ද

අවුලුවා ලන්න මේ තනි හිතක තරු ලන්ද.. 


ළග පාත සැරි සරන බමරුන්ට නොපෙනෙන්න 

කටු යහන තුල නිදමි මලක් වී පිබිදෙන්න

නොදැනීම ඔබ පැමිණ, අවසරද ඇහැරෙන්න

පරවෙන්න පෙර ළගම හිඳ  වරක් සිප ගන්න 


අලු අහස් කවුලු වල , මේ කුලක් අතුරන්න 

වැහි ලිහිණි රංචුවට පණිවුඩය පවසන්න 

මං බලා හිදින්නම් , වස්සානයක් වෙන්න

සහස රැස් කෙඳි සහිත, දේදුන්න ඔබ වෙන්න

මං හරී ආදරේ 03


 හෙමින් පියවර තියා ඇවිත් හිත් කුටියට 

නළල ඉඹ, තුරුළු කරගෙන මාව පපුවට 

ඉතින් ආදරේ බව කිව්වාට ඔබ මට 

ස්තුති කන්දකී සමන් ගිර  තරමට.... 


කවිහිතක් නොපිපේය වැහි නොමැති කතරට 

මුදු හීන කොඳමල්ද ඇකිලේවි රස්නෙට 

මුරුගසන් වරුසාව වහින මෝසමකට 

පසුව පිබිදෙන හැඟුම් දලුලාවි තරගෙට.... 


මිමිණෙන්න රහසක්ම වෙලා දෙතොලතරට 

ඇහැරෙන්න පහසක් වුණෙම හදවතකට 

නිදාගෙන ඇහැරෙනා ගිනි කන්ද විලසට

ඔයාගෙම සුවඳමයි මා ගාව තව මට.... 


පතිත වෙමි ඔබ මතට රැසක් වී ලා ඉරේ

ඇත්තමයි රත්තරන් මං හරිම ආදරේ 💚 💚

මං හරී ආදරේ 02


 විශ්වයට සමපාත විශ්වයෙන් පොහොණි වුණු 

ජිවිතේ මහා දිග , වරණ නැති පැන පතක්

විශ්මයෙන් බලා ඉමි, විනිශ්චය නොකර ඔබ 

මගේ හද විස අයින්  , කරනු වස් දැරු තැතක් 

වැහි වනන්තර බිමක, දොඩන විහගෙකු අසල

මල් අහිමි , හදවතට දැනේවියි  සිසිලසක්  

නොදැන වුව ඉගිළ එමි , ඒ සිහිල් නිම්නයට

ලැගුම් ගමි ඔය හෙවණ, පතමි නිර්වාණයක්!


පතිත වෙමි ඔබ මතට රැසක් වි ලා ඉරේ 

ඇත්තමයි මං හරී.... ආදරේ!

මං හරී ආදරේ 01

 අපි ඇසින් ඇස ගැසී 

වචනයක් වත් නොකී 

කන්දක්ව මහ බරට 

දරාගත් ආදරේ.......

හඳ වගෙම තරු නැතී 

සිඳු තෙරක බිම හැපී 

අප වටා නාය ගිය 

බව දුටුවෙ සාගරේ......

පාලු පපුවක එතී

හුස්ම ඇහැරුන හැටී 

කවුරු නම් දන්නවද 

ඒ තරම් ආදරේ .....

නෙතු පොකුණු මැද ගිලී 

මටම මියැදුන හැකී 

ඔබ මතම පතිත වෙමි 

රැසක් වී ලා ඉරේ .......

මං හරී ආදරේ 🌹

45

  අනෙක් දිනවල අවදි වෙන්නෙම   ඔබට සුබ පැතුමක් තියා පෙලක් දවසට අමතකයි මට ඉතින් සති අන්තය කියා  ගෙවෙන තෙක් මේ වගේ දින ඔබ , මග බලන්නෙත් නැති නිස...